වසර 28කට බොහෝ දෑ අමතක කළ හැකියි. නමුත්….!
“ද්වාරකා ගෙ අම්ම
මගෙ අම්ම වගේමයි
මගේ බස ඇයට නොතේරෙයි
ඇගේ බස මට නොතේරෙයි
එත් අපි හැමෝම දන්නෙ
එකම එක දෙයයි
ඒ ආදරය විතරමයි” **
මේ සටහන කලු ජූලිය සැමරීමට නොවෙයි.!
හීත්ක්ලිෆ්-කැතරින්, දේව්දාස්-පාරෝ, කසුන්-චාපා ගේ ආදරයට වඩා,
ද්වාරකා ගේ අම්මා ගේ ආදරය අපට උතුම් ය.
එය ඔබේ/මගේ මවගේ ආදරය ම නොවේද?
ඒ ආදරයට සම කලහැක්කක් පවතී යයි අපි විශ්වාස නොකරමු.
ඒ ආදරයට ජාති, ආගම්, කුල ඈ නොයෙක් වාර්ගික පදනම් කොහින්ද…?
මේ සටහන….. ,
වසර 28ක් තුළ ම්ලේඡ්ච ජනවාර්ගික ගැටුම් නිසා සිය ජීවිත වලින් වන්දි ගෙවු, දහස් ගණනක් දමිළ, සිංහල , මුස්ලිම් ඇතුලු
සියලු ශ්‍රී ලාංකික දූ පුතුන් ගේ අමිල ජීවිත සහ,
අදටත් කඳුලු වලින් වන්දි ගෙවන
ඔවුනගේ මව්වරු, පියවරු සහ සමීපතමයින් ගේ
“ආදරය” නම් උත්තම මිනිස් බැඳීම වෙනුවෙනි …..
මේ වනතුරුත් කිසිදු අධිකරණ ක්‍රියාමාර්ගයක් නොගෙන,
අවම වශයෙන් සිරගතව සිටින්නේද යන්න පවා බාහිර ලෝකය නොදන්නා,
බල අධිකාරිය විසින් නම් හෙළි නොකරන ,
රාසයියා ද්වාරකා ඇතුලු ගණනින් කොතෙක් දැයි පවා අප නොදන්නා,
දමිළ දේශපාලන සිරකරුවන් ලෙස රඳවා ගෙන සිටින
අපේම සොයුරු සොයුරියන ගේ මූලික අයිතිවාසිකම් වෙනුවෙනි …… ,
සිය අතුරුදන් වු දූ පුතුන් මියගියාද,
නැතහොත් සිරගතව සිටීද යන්න නොදැන,
88/89 දී දකුණේ මව්වරු මෙන්ම දැවෙන හදින් යුතුව,
සිය දරුවන් යලිත් තම තුරුලට එතැයි මේ මොහොතේත් පෙර මග බලා සිටින,
උතුරේ මව්වරුන් දෑසෙහි නැගෙන කඳුලු වෙනුවෙනි
—————————————————————————————————————
**ඉහත කවි පද කලකට ඉහත සමාජවාදී තරුණ සංගමය විසින් ප්‍රදර්ශණය කර තිබුණු පෝස්ටරයකින් උපුටා ගත්තක්. (බූන්දියෙහි පළවූ, ජවිපෙ ට හා උදුල් සහොදරයාවෙත, මංජුල වෙඩිවර්ධන ගේ පිළිතුරට මෙතනින්)
ජවිපෙ සමග බොහෝ විට එකග නොවුවද, මේ නව ප්‍රවේශයට ජවිපෙ එළඹෙන්නේ සද්භාවයෙන් යුතුව නම්, නිවැරදි එය වැරදි යැයි කීමට තරම් අප කුහක නැත.








