ජූලි | July

•July 31, 2011 • Leave a Comment
පින්තූරය ඉස්සුවේ බූන්දි යෙන්. අදාල ලිපිය වෙත මෙතනින්.
රාසයියා ද්වාරකා

වසර 28කට බොහෝ දෑ අමතක කළ හැකියි. නමුත්….!

ද්වාරකා ගෙ අම්ම
මගෙ අම්ම වගේමයි
මගේ බස ඇයට නොතේරෙයි
ඇගේ බස මට නොතේරෙයි
එත් අපි හැමෝම දන්නෙ
එකම එක දෙයයි
ඒ ආදරය විතරමයි”   **


මේ සටහන කලු ජූලිය සැමරීමට නොවෙයි.!

හීත්ක්ලිෆ්-කැතරින්, දේව්දාස්-පාරෝ, කසුන්-චාපා ගේ ආදරයට වඩා,
ද්වාරකා ගේ අම්මා ගේ ආදරය අපට උතුම් ය.
එය ඔබේ/මගේ මවගේ ආදරය ම නොවේද?

ඒ ආදරයට සම කලහැක්කක් පවතී යයි අපි විශ්වාස නොකරමු.
ඒ ආදරයට ජාති, ආගම්, කුල ඈ නොයෙක් වාර්ගික පදනම් කොහින්ද…?

මේ සටහන….. ,

වසර 28ක් තුළ ම්ලේඡ්ච ජනවාර්ගික ගැටුම් නිසා සිය ජීවිත වලින් වන්දි ගෙවු, දහස් ගණනක් දමිළ, සිංහල , මුස්ලිම් ඇතුලු
සියලු ශ්‍රී ලාංකික දූ පුතුන් ගේ අමිල ජීවිත සහ,
අදටත් කඳුලු වලින් වන්දි ගෙවන
ඔවුනගේ මව්වරු, පියවරු සහ සමීපතමයින් ගේ
“ආදරය” නම් උත්තම මිනිස් බැඳීම වෙනුවෙනි …..

මේ වනතුරුත් කිසිදු අධිකරණ ක්‍රියාමාර්ගයක් නොගෙන,
අවම වශයෙන් සිරගතව සිටින්නේද යන්න පවා බාහිර ලෝකය නොදන්නා,
බල අධිකාරිය විසින් නම් හෙළි නොකරන ,
රාසයියා ද්වාරකා ඇතුලු ගණනින් කොතෙක් දැයි පවා අප නොදන්නා,
දමිළ දේශපාලන සිරකරුවන් ලෙස රඳවා ගෙන සිටින
අපේම සොයුරු සොයුරියන ගේ මූලික අයිතිවාසිකම් වෙනුවෙනි …… ,

සිය අතුරුදන් වු දූ පුතුන් මියගියාද,
නැතහොත් සිරගතව සිටීද යන්න නොදැන,
88/89 දී දකුණේ මව්වරු මෙන්ම දැවෙන හදින් යුතුව,
සිය දරුවන් යලිත් තම තුරුලට එතැයි මේ මොහොතේත් පෙර මග බලා සිටින,
උතුරේ මව්වරුන් දෑසෙහි නැගෙන කඳුලු වෙනුවෙනි

—————————————————————————————————————

**ඉහත කවි පද කලකට ඉහත සමාජවාදී තරුණ සංගමය විසින් ප්‍රදර්ශණය කර තිබුණු පෝස්ටරයකින් උපුටා ගත්තක්. (බූන්දියෙහි පළවූ, ජවිපෙ ට හා උදුල් සහොදරයාවෙත, මංජුල වෙඩිවර්ධන ගේ පිළිතුරට මෙතනින්)

ජවිපෙ සමග බොහෝ විට එකග නොවුවද, මේ නව ප්‍රවේශයට ජවිපෙ එළඹෙන්නේ සද්භාවයෙන් යුතුව නම්, නිවැරදි එය වැරදි ‍යැයි කීමට තරම් අප කුහක නැත.

හීත්ක්ලිෆ්* ගෙන් ලියුමක් | A Letter From Heathcliff*

•July 17, 2011 • 3 Comments


මම හැමදා නුඹව සිහිනයෙන් දකින්නට ප්‍රිය කළෙමි.
මන්ද යත් නුඹ සිහිනයක්ම බව මා දැන හුන් හෙයිනි. සැබෑව හා සිහිනය අතර දුර කිසිදා පෑහිය හැකි නොවේ.
නුඹ හා මා අතර දුර ද එතරම් ම විය.

‍යමෙකුගේ ජීවිතයට ආදරය එබිකම් කරත් ද, ඒ උත්කර්ශවත් මොහොතින් පසු එය මෙදියතෙහි ඇති , නැති සියලු වෛවර්ණයන් ගෙන් ගෙන් විචිත්‍ර වන්නේය.
නුඹද එලෙසින් අවර්ණව තිබූ මගේ ජීවිතය වෛවර්ණ කළාය. කඳුලක් මෙන්ම සිනහවක්ද නුවූ ජීවිතය තව තවත් කඳුලින් දුරස් කළේ නුඹය.
එහෙත් ඒ සියල්ල දැන් අතීතයට අයිතිය..!

නුඹ වෙසෙන අරුණෝදය වෙත, මා වෙසෙන රාත්‍රියෙන් නික්ම පියඹා එන්නට සිතෙන්නේ වරක් දෙවරක් නොවේ. එනමුදු සිහිනයෙන් මිස හැබැහින් නුඹ, මා වෙන්කර ඇති මේ බැමි මතින් පියඹා එන්නට තරම් සවි මා සතු නැත.

වර්තමානය වේදනාවක් වූවාට කම් නැත. ජීවිතය යම් දිනක මියැදී ගියද සිහින කිසිදාක මියෙන්නේ නම් නොවේ. සැබෑ ආදරය දරාගන්නට තරම් මේ කතර පුළුල් නැත. ඒ පටු සිතිජ සීමාවෙන් ඔබ්බට පියඹා යාම නුඹේත් , මගේත් සිහිනය විය.

ඒ දුෂ්කර සිහිනය සැබෑවක් නුවූ බව සැබැවි. නමුදු ඒ සිහිනය අතීතයක් නිර්මාණය කළේය. ඒ අතීතය හා ආදරය මට මෙන්ම නුඹට ද අන් කවර දෙයකටත් වඩා වටිනා බව මම දනිමි.

ආදරය නිද්‍රෝපගතව යටපත් කර තබිය හැකි වුව ද, කිසිදා එය මිය යන්නේ නොවේ. මේ නිදන ලොව මතින් පියඹා සිහිනයෙන් නුඹ වෙත එන්නට මා වෙත කවරෙක් නම් විලංගු දමන්නද ? සැබෑ ජීවිතයේ මෙන් සිහිනයේ තටු සින්දලන්නට අපේ සිහිනයට එන්නට හැකි කාටද? ජීවිතය අඳුරුව, අවර්ණව ගියද කම් නැත. අප සතු ඒ සිහිනයේ විචිත්‍රත්වය මට ඇති..!

– – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – –

සිහිනයට තරම් – තටු නෑ මට නම්
පියඹන්න අරන් නුඹ
අහසේ……
ආදරය තරම් – සියුමැලි මනරම්
සිහිනයක් තියේවි ද
ලෝකේ….

තුරු හිස් මුදුන් කර
තරු ලකුණු වැටෙනා…
අතර..
සිත නුඹම සොයා
වළා බැම්මෙන් ඉගිල යයි…
ලොව නිදනා අතර..
සයුරක් වී වැතිර
නුඹ සරැළි නඟනා
අතර..
කිරි සිනා ගඟක්
ඉවුරු දෝතින් අරන් එයි..
ඉන්නවා ද ඇහැර..?

කඳුලක් ලඟට දුර
තව දුරස් කළේ..
නුඹය..
වැහි ඇල්ලක් වගේ
සොඳුරු සිහිලක් ගෙනා මට..
ජීවිතයේ කතර..
සෙනෙහස් සිහින වර
හැම සැබෑ කෙරූ..
සසර..
නුඹ සඳකි රුවන්
කුමුදු යායක් පුබුදු කළ…
මා හද විළ , සුවඳ

හඬ – කසුන් කල්හාර + ප්‍රතිභා ප්‍රභා
පද – යමුනා මාලනි පෙරේරා
ස්වර – නදීක ගුරුගේ

 – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – –

*     හීත්කිලිෆ් සහ කැතරින් Emily Bronte ගේ“Wuthering Heights” සුප්‍රකට නවකතාවේ පිටු අතර ජීවත් වන ඒ අමරණීය පෙම් යුවලයි. (සිංහල පරිවර්තනය “උරුමලද්දෝ”- කතුවරු: පී. කේ. ඩී. සෙනවිරත්න + රංජනී අභයවර්ධන.)

සමකාලීන පෙම් යුවලකින් වෙනස් , සියවස් 2කට පෙර හුන් බ්‍රිතාන්‍ය පෙම් යුවලක් වූ ඔවුනගේ කතාන්දරය කියවන ඔබට ආදරයේ මානයන් සහ එහි සදාතනිකත්වය පිළිබඳ නොවැටහේ නම් ඔබ ආදරය නොකලාට කම් නැත. ඒ කතාන්දරය එතරම්ම ප්‍රේමණීය ය.

මාලය | The Necklace

•June 14, 2011 • 4 Comments

“මේ සතියට වැඩ ඉවරයි”
දවසේ ගිනුම් පරීක්ෂා කිරීමට ප්‍රථම හෙතෙම දෑස් පියාගෙන , සැනසුම් සුසුමක් හෙළා සිය අසුනට බර වුයේය.

ඔහු උකස් කවුන්ටරයේ රාජකාරිය කිසිවිටෙක නොරිස්සුවේය. ඒ මදිවාට සතියක් එහිම රැඳී සිටීමෙන් ඔහු වෙහෙසට
පත්ව සිටියේය.

“මිනිස්සු සාප කරනව ඇති.” ඔහුට නිතරම සිතුණි. ඒත් මම මොනව කරන්නද? මම කරන්නෙත් රස්සාවක් නෙව..”

බැංකුවේ ඈත කොනකින් ප්‍රින්ටරයක් කෑගසනු ඇසේ. එහි නොනැවතෙන ඒකතානමය හඬෙන් දවස අවසන් වෙන්නට
යන බව සන් කලේය.

ඔහුගෙ සිත යළිත් උද්දාමයට පත් විය.

“මේ සතියට වැඩ ඉවරයි.. මේ සතියට වැඩ ඉවරයි..!
හෙටයි අනිද්දයි මොකද කරන්නෙ..?”


– – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – –

හදිසියේ කාර්යාල සහායක කඩා වැදුනේ ඒ සැහැල්ලුව අතරටය.

“සර්, ගෑණු කෙනෙක් ඇවිත් ඉන්නව…. එවන්නද?”

ඔහු දෑස් හරින විටත් ඇය උකස් ගන්නා කුටියට ඇතුලුව සිටියාය.
ඇඳි වත් පොඟවා ගැලූ දහඩිය විඩාවටත් වඩා හිතේ ඇවිලුණු ගින්දර කොතරම් දැයි කියා පෑවේය.

“මහත්තයො, හදිස්සියකට ආවෙ…”

“ඉඳගන්න” බැංකු නිලධාරියා වඩා විචක්ෂණශීලී ලෙස ඇය දෙස නෙත් යොමු කලේය. ඇගේ තදින් මිට මෙළවුණු සුරත ඔහුට සිහියට ගෙනාවේ පැරනි සාහිත්‍ය පාඩමක මහෞෂධ කුමාරයා රත් හඳුන් කැබල්ලක් මිටින් ගෙන උපන් සැටිය.

ඇය සිය සුරතේ ගුලි කරගෙන හුන් රන් මාලය ඔහු වෙත පෑවාය.
“පවුං බාගයක් තියනව මහත්තයො.. කීයක් විතර ගන්න පුලුවන් වෙයිද?”

ඔහු නිහඬවම කිරුම් මිනුම් ඇරඹුවේය. වෙනදා නොදැනෙන කුහුලක් අද ඔහුට දැනෙයි.
“Know Your Customer… Know Your Customer…!”

හෙතෙම යළිත් ජීවිතයේ සැඳෑ සමයට ළඟා වී සිටින කාන්තාව දෙස දෙනෙත් යොමු කලේය.
හේ පුදුමයට පත් නොවීය. ඇය සතුව අන් කිසිදු ආභරණයක් නොතිබිණ. සියලු සළකුණු කියා පෑවේඅන්ත දිළිඳු භාවයයි.

“එක අතකට මෙහෙම මිනිස්සුන්ගෙ තව මොනවා කියල අමුතුවෙන් දැනගන්න ද?” ඔහු සිතුවේය.

“මහත්තයො රුපියල් දහ දාහක් ගන්න පුලුවන් වෙයි නේද?” ගැහැණිය බයාදු ලෙස ඇසුවාය.

“පවුං බාගෙට ටිකක් අඩුයි. රුපියල් පහළොස් දාහක් විතර ගන්න පුලුවනි.”
ඇගේ මුහුණට එළියක් වැටුණි.

“අතේ පිච්චියක් නෑ මහත්තයො, හදිස්සියෙ වැස්ස පටන් ගත්ත නිසා කිරි කපන්නත් නෑ.”

“මේ කාලෙ හැමෝටම ඔහොම තමයි.” හිතට ආ වචන වෙනුවට ඔහු ඇසුවේ අනෙකකි.
“ඇයි හදිස්සියෙ සල්ලි..?”

ප්‍රථම වතාවට ඇගේ මුහුණෙහි සිනාවක් මතුවිය.
“අපෙ පොඩි පුතා විශ්ව විද්‍යාලෙට තේරිලා මහත්තයො.. අමාරුවෙන් ඌට ඉගැන්නුවෙ..  . පරම්පරාවටම ඔහොම තැනකට ගියෙ මගෙ කොල්ල විතරයි.. වාවගන්න බැරි තරම් සන්තෝසයි ! “

“ඉතින් හදිස්සියෙ සල්ලි ඇයි? පුතාට තෑග්ගක් වත් අරන් දෙන්නද?” ඔහු රිසිට් පත ඇය අතට පත් කලේය.

“නෑ මහත්තයො, පුතාට අර අලුතින් නායකත්ව පුහුණුවක් ද මොකක්ද එකකට යන්න ඇවිත් නෙ.

ඒකට අරන් යන්න කියල එවල තියන බඩු ලයිස්තුව ගන්න..”

 
Follow

Get every new post delivered to your Inbox.

%d bloggers like this: