මාලය | The Necklace

“මේ සතියට වැඩ ඉවරයි”
දවසේ ගිනුම් පරීක්ෂා කිරීමට ප්‍රථම හෙතෙම දෑස් පියාගෙන , සැනසුම් සුසුමක් හෙළා සිය අසුනට බර වුයේය.

ඔහු උකස් කවුන්ටරයේ රාජකාරිය කිසිවිටෙක නොරිස්සුවේය. ඒ මදිවාට සතියක් එහිම රැඳී සිටීමෙන් ඔහු වෙහෙසට
පත්ව සිටියේය.

“මිනිස්සු සාප කරනව ඇති.” ඔහුට නිතරම සිතුණි. ඒත් මම මොනව කරන්නද? මම කරන්නෙත් රස්සාවක් නෙව..”

බැංකුවේ ඈත කොනකින් ප්‍රින්ටරයක් කෑගසනු ඇසේ. එහි නොනැවතෙන ඒකතානමය හඬෙන් දවස අවසන් වෙන්නට
යන බව සන් කලේය.

ඔහුගෙ සිත යළිත් උද්දාමයට පත් විය.

“මේ සතියට වැඩ ඉවරයි.. මේ සතියට වැඩ ඉවරයි..!
හෙටයි අනිද්දයි මොකද කරන්නෙ..?”


– – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – –

හදිසියේ කාර්යාල සහායක කඩා වැදුනේ ඒ සැහැල්ලුව අතරටය.

“සර්, ගෑණු කෙනෙක් ඇවිත් ඉන්නව…. එවන්නද?”

ඔහු දෑස් හරින විටත් ඇය උකස් ගන්නා කුටියට ඇතුලුව සිටියාය.
ඇඳි වත් පොඟවා ගැලූ දහඩිය විඩාවටත් වඩා හිතේ ඇවිලුණු ගින්දර කොතරම් දැයි කියා පෑවේය.

“මහත්තයො, හදිස්සියකට ආවෙ…”

“ඉඳගන්න” බැංකු නිලධාරියා වඩා විචක්ෂණශීලී ලෙස ඇය දෙස නෙත් යොමු කලේය. ඇගේ තදින් මිට මෙළවුණු සුරත ඔහුට සිහියට ගෙනාවේ පැරනි සාහිත්‍ය පාඩමක මහෞෂධ කුමාරයා රත් හඳුන් කැබල්ලක් මිටින් ගෙන උපන් සැටිය.

ඇය සිය සුරතේ ගුලි කරගෙන හුන් රන් මාලය ඔහු වෙත පෑවාය.
“පවුං බාගයක් තියනව මහත්තයො.. කීයක් විතර ගන්න පුලුවන් වෙයිද?”

ඔහු නිහඬවම කිරුම් මිනුම් ඇරඹුවේය. වෙනදා නොදැනෙන කුහුලක් අද ඔහුට දැනෙයි.
“Know Your Customer… Know Your Customer…!”

හෙතෙම යළිත් ජීවිතයේ සැඳෑ සමයට ළඟා වී සිටින කාන්තාව දෙස දෙනෙත් යොමු කලේය.
හේ පුදුමයට පත් නොවීය. ඇය සතුව අන් කිසිදු ආභරණයක් නොතිබිණ. සියලු සළකුණු කියා පෑවේඅන්ත දිළිඳු භාවයයි.

“එක අතකට මෙහෙම මිනිස්සුන්ගෙ තව මොනවා කියල අමුතුවෙන් දැනගන්න ද?” ඔහු සිතුවේය.

“මහත්තයො රුපියල් දහ දාහක් ගන්න පුලුවන් වෙයි නේද?” ගැහැණිය බයාදු ලෙස ඇසුවාය.

“පවුං බාගෙට ටිකක් අඩුයි. රුපියල් පහළොස් දාහක් විතර ගන්න පුලුවනි.”
ඇගේ මුහුණට එළියක් වැටුණි.

“අතේ පිච්චියක් නෑ මහත්තයො, හදිස්සියෙ වැස්ස පටන් ගත්ත නිසා කිරි කපන්නත් නෑ.”

“මේ කාලෙ හැමෝටම ඔහොම තමයි.” හිතට ආ වචන වෙනුවට ඔහු ඇසුවේ අනෙකකි.
“ඇයි හදිස්සියෙ සල්ලි..?”

ප්‍රථම වතාවට ඇගේ මුහුණෙහි සිනාවක් මතුවිය.
“අපෙ පොඩි පුතා විශ්ව විද්‍යාලෙට තේරිලා මහත්තයො.. අමාරුවෙන් ඌට ඉගැන්නුවෙ..  . පරම්පරාවටම ඔහොම තැනකට ගියෙ මගෙ කොල්ල විතරයි.. වාවගන්න බැරි තරම් සන්තෝසයි ! “

“ඉතින් හදිස්සියෙ සල්ලි ඇයි? පුතාට තෑග්ගක් වත් අරන් දෙන්නද?” ඔහු රිසිට් පත ඇය අතට පත් කලේය.

“නෑ මහත්තයො, පුතාට අර අලුතින් නායකත්ව පුහුණුවක් ද මොකක්ද එකකට යන්න ඇවිත් නෙ.

ඒකට අරන් යන්න කියල එවල තියන බඩු ලයිස්තුව ගන්න..”

Advertisements

~ by blogdarklight on June 14, 2011.

4 Responses to “මාලය | The Necklace”

  1. නල්ලමලේ නායකත්ව පුහුණුව …

    • මෙය සත්‍ය සිදුවීමක් අසුරින් ලියූවක්.
      මේ පුහුණුව සඳහා රු. 10,000 ආසන්න වටිනාකමකින්
      යුත් විවිධ දේ ලැයිස්තුවක් රැඑන එන ලෙස නවක ශිෂ්‍යයනට බලකර තිබුනා.
      මහපොල ශිෂ්‍යත්ව සොච්චම් මුදලින් පමණක් ජීවත් වන බොහෝ සිසුන් මා දන්නවා. මෙය එවැනි තත්වයකදී අනවශ්‍ය බරක් ශිෂ්‍ය‍යින් මත පැටවීමක්.

  2. සෑහෙන වියදමක් යනව ඇති

    • ඒක සාපේක්ෂයි නේද නදී..?
      උදාහරණයකට,
      තරු පන්තියේ හෝටලයකින් එදිනෙදා කෑම වේලක් රු.10,000කට ගන්න අයෙක්ට බොහොම සුළු දෙයක් වෙන්න ඇති.
      නමුත් ඉහත රු.5000ක පමණ සුළු වියදමක්වත් දරාගත නොහැකි පිරිසකුත් සිටින නිසා නේද ඉහත සිදුවීමට ‍යථාර්තයක් බවට පත්වෙන්න සිදුවුනේ?

      අනෙක් අතට ,ඉහත ලිපියෙන් සමස්ත තත්වය, මේ සිදුවීමට ලඝු කරන්නට උත්සාහ කරනවා නොවේ. ප්‍රවිශ්ඨයක් පමණයි.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

 
%d bloggers like this: